අපි මුලින්ම දකින්න ඕනේ ලෝකයේ යම් පුද්ගලයෙක් පිනක් හෝ පවක් කලොත් ඒකේ විපාකය බුක්ති විදින්න වෙන වෙලාවට ඒක ලැබෙන්නේ කොහොමද කියලා. අපි කරපු පින් හෝ පව් වල ප්‍රතිඵලයන් ලැබෙන්නේ මේ ඇස, කන, දිව, නාසය, ශරිරය, මනස කියන ඉන්ද්‍රිය හයට බාහිර ලෝකයෙන් එන රූප, ශබ්ද, ගන්ද, රස, ස්පර්ෂ, ධර්ම කියන අරමුනු තුලිනුයි. ඒ තුලින් ගොඩ නැගෙන මානසිකත්වයක් තුලට සැප හෝ දුක හෝ මධ්‍යස්ථ භාවය හෝ තීක්ෂණ නුවන හෝ යමක් තේරුම් ගැනිමට උපකාරිවන ප්‍රඥාව ආදි මේ සියල්ලම ලැබෙන්නට හේතුවෙනවා. මෙන්න මේකට අවශය සියලුම පින් හෝ පව් ගුණාංගයන් බලවත් වෙනතුරු ඒක සිද්ධකරපු කෙනාට නිරායාසයෙන් ඒවා ඇදලා එනවා. ඒක ඵල දෙන්න අවශ්‍ය සියලු පරිසරය සකස් වු විට එය පලිසන් දෙනවා. ඒකට හේතුව කර්ම ශක්තියේ මෙහෙය විමෙන් අවශ්‍ය කාරනය හරියට සකස් කරලා තියෙන නිසා.

එතකොට මේ ලෝක සත්වයින්ගේ හිත සුව පිනිස අසංඛ කල්ප ලක්ෂ ගනන් පෙරුම් පුරා ගෙන බුද්ධත්වය සදහා එන බෝසතුන් වහන්සේලාගෙන් මතුවෙන අප්‍රමාන පුන්‍ය ශක්තිය උපරිම වන අවස්තාව තමයි ලොව්තුරා බුද්ධත්වය කියන්නේ. එතකොට ඒ අප්‍රමාන පින් ඵලය ලැබිමට අවශ්‍ය සියල්ල ලෝකයේ සහජාතව හට ගන්නවා. ඒ සියල්ලම අර කර්ම ශක්තියේ ඵලයෙනුයි සිද්ද වෙන්නෙ. ඒකට හේතුව ඒ පාරමි ශක්තිය සෑහෙන බලවත් එකක් විමයි. ලොව්තුරා බුද්ධත්වයට අවශය කරන කාරනා හතක් (සප්ත සහජාත වස්තු) උන් වහන්සේ ලෝකයේ පහල වන විටම හට ගන්නවා. ඉන් එකක් තමයි ජය ශ්‍රී මහ බෝධිය. ලොව්තුරා බුද්ධත්වය සදහා අවශ්‍ය වන්නා වු ශක්ති විශේෂ සියල්ල පිට කරන්න පුලුවන් වු රුක්ෂයක් වෙනවා මේ පරමිතා ශක්තියෙන් හට ගන්නා වු ජය ශ්‍රී මහා බෝධිය. ලෝකයේ වෙන කිසිම රුක්ෂයක් හා සමාන කරන්න බැරි ශක්තියක් මෙහි සහජාතව හට ගන්නවා. ලොව්තුරා බුද්ධත්වයට පත්වන්න යන මොහොතේදි අවශ්‍ය මහා ප්‍රඥාව වඩන්න අවශ්‍ය වෙන මානසිකත්වය පවත්වාගෙන යන්න, අවශ්‍ය සියලුම ශක්ති විශේෂ කිරන වශයෙන් ලබා දෙන්න පුලුවන් රුක්ෂයක් වන්නෙ ජය ශ්‍රී මහ බෝධියයි. ජය ශ්‍රී මහ බෝධිය ලග නැතිව, මේ ලෝකයේ වෙන කිසිම තැනක හෝ වෙන කිසිම රුක්ෂයක් ලග හෝ ලොව්තුරා බුද්ධත්වයට පත් වෙන්නත් බැහැ.

එහෙනම් ඒ ජය ශ්‍රී මහ බොධීන් වහන්සේ යම් තාක් කල් පවතිනවද, මාර බල පරාජ කිරීමේ මහා පාරමී බලමහිමයක් පුණය ශක්තිය වශයෙන් ඒ තාක් කල් ලැබෙනවා. මාර පාක්ෂික බලවේගයකට ඒ බලවේගය ඉදිරියේ කවදාවත් නැගී සිටින්න බැහැ. එහෙනම් ජය ශ්‍රී මහා බොධීන් වනසේගේ ශක්තිය බුදුරජාණන් වන්සේට පමණක් නොවෙයි, උන්වහන්සේ මේ අප්‍රමාණ පාරමිතා දම් පිරුවේ ලෝක අනුකම්පාවෙන්, ඉතින් ඒ හේතුවෙන් මේ පාරමී ශක්තිය අප්‍රමාණ ලෝක සත්වයින්ටත් මේ ශාසනයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව් පිරිසටත් ආර්ය මාර්ග වඩන විට ඇති වන නානවිධ බාධක මෙන්ම ඇතිවෙන්නා වූ මාරපාක්‍ෂික බාධක දුරු කරන ආශිර්වාද ශක්තියක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලැබෙනවා. කොච්චර ඈතක හිටියත් ඒ ශක්තිය විහිදිලා යනවා. මෙන්න මේ සම්බන්ධතාවය නිසා ජය ශ්‍රී මහා බොධීන් වනසේගෙන් ලෝකයාට ලැබෙන අසීමිත වටිනාකම සීමා කරන්න බෑ. ජය ශ්‍රී මහා බොධීන් වහන්සේගෙ ඵල රුව බෝධිය හෝ අංකුර බෝධිය යන සියල්ලටත් යම් සම්බන්ධතාවයක් තියෙනවා.

මෙන්න මේ කාරණාව තේරුම් ගන්න බැරි භෞතිකවාදි මෝඩ පුද්ගලයෝ ගහක් අල්ලගෙන වදිනවා කියන්නත් පුලුවන්. නමුත් අපිට නියම ශාන්තියක් ලබා ගන්න නිකන් ගස් වටේ ගිහින් හරියන්නෙත් නැහැ. අපගේත් ඒ ගුනයන් යම් ප්‍රමානයක් හෝ තියෙන්නට ඕනේ.

අපි දැන් බලමු මේ බෝධි පුජාවෙන් සෙතක් සැලසෙන්නේ කොහොමද කියලා. අපි උපමාවක් අරගෙන බලමු, Computer එකකට හිතක් තියෙනවද? ඒකට හිතක් නැති වුනත් අවශ්‍ය කරන දත්තයන් ගැබ් කර අවශ්‍ය වෙලාවට ඒකෙන් ප්‍රතිචාර ලබා ගන්න පුලුවන්. බෝධීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරමිතා පූර්ණ කරපු හේතූන්ගෙන් හට ගත්ත දත්තයන් කවපු මහා Computer එකක්. බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ගුනයේ ස්භාවය නම්, යම් කිසි කෙනෙක් මාගෙන් පිලිසරණක් බලා පොරොත්තු වුනොත් ඒ පිලිසරණ ලබා දෙන්න ක්‍රියා කරනවා කියන එකයි. යම් කෙනෙක් යහපත් ගුණ ධර්මයෙන් යුක්තව ඒ ආශිර්වාදය ලබා ගන්න ගියොත් Computer එකෙන් දත්තයන් ලබා ගන්නවා වගේ ඒ ශාන්තිය ලබා ගන්න පුළුවන්. බලාපොරොත්තු වෙච්ච නැති කෙනාට ආශිර්වාදය ලැබෙන්නේ නැහැ, ලබන්න හේතු නැති නිසා.

ඉතින් බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සිහි කරලා, බෝධීන් වහන්සේට කළගුණ සැලකීම් වශයෙන් කරන වන්දනා මාන, පූජා සත්කාර, ජලය වත්කිරීම් ආදිය චිත්තප්‍රසාදයෙන් සිදු කිරීමෙන් මහත් ශාන්තියක් ලබාගන්න පුළුවන්.

දැන් යම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුනොත් කොහොමද අපි නිවැරදි බෝධි පූජාවක් කරන්නෙ කියලා. ඒ ගැන දැන ගන්න මේ වටිනා ධර්ම දේශණයට සවන් දෙන්න.

4 ප්‍රතිචාර:

Anonymous said...

ම‍ට නම් හිතෙන්නේ මේ කරුණු බුද්ධ ධර්මයට එකඟ නෑ කියලා. ශ්‍රී මහා බෝධි වහන්සේ බුදුන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න උදව් කරපු (සෙවන දුන්)නිසා බුදුන් වහන්සේ කළ ගුණ දැක්වීම සඳහා අනිමිස ලෝචන පූජාවේ යෙදුනා. අපිත් ඒ අනුව යමින් කළ ගුණ සැලකීමක් කරන එකේ කිසිම වැරැද්දක් නෑ.මේ ශක්ති විශේෂ පිට කරනවාය කිරණ පිට වෙනවාය ආශිර්වාද ශක්තීන් තියනවය කියලා අමුතු අද්භූත බලවේග බෝධි වෘක්ෂයට ආ‍රෝපණය කරලා නොයෙකුත් පූජා අභිචාර වීධි පවත්වමින් නොයෙක් දේ ලබා දෙන්න කියලා කන්නලවු කරන එක නම් ම‍ට පේන්නේ බුදුන් වහන්සේ පිළිකෙවු කරපු වෘක්ෂ වන්දනාවම තමයි කියලා. (බුදු රජානන් වහන්සේ මේ වගේ නොපෙනෙන බලවේග වල පිහිට පතන එක අනු දැන වදාලේ නැති අතර සසරින් මිදීමට හැකි මග (චතුරාර්ය සත්‍ය) පැහැදිලි ලෙස හෙලිදරවු කලා.) ගෞතම බුදු රජාණන් වහන්සේ ඇසතු රුකක් මුල බුදු උනා වගේම අනෙකුත් බුදුන් වහන්සේලා වෙනත් වෘක්ෂ වර්ග පාමුල බුද්ධත්වයට පත්වෙලා තියන බවත් මතක් කරන්න කැමතියි. මට නිවැරදියි කියලා හිත‍න දේ මම සඳහන් කලා. මම වැරදියි නම් කරුණා කරලා මාව නිවැරදි කරන්න.

Thamara said...

@Anonymous - March 13, 2010 7:35 AM
බුදුරජාණන් වහන්සේට සෙවන දුන් බෝධි වෘක්ෂයට කළ ගුණ සැලකීම උතුම් ගුණයක්. ඒකේ කිසිම වැරද්දක් නැහැ. නමුත් මෙම ලිපියෙහි පෙන්වා දෙන්නේ බෝධින් වහන්සේට කරන පූජාවෙන් ලෞකික ශාන්තියක්,පිහිටක් ලබා ගන්නා ආකාරයයි. බුදුරජානන් වහන්සේ මෙම දේවල් බොරු කිව්වේ නැහැ. නමුත් මේවා පස්සේ ගිහින් නිවන් දකින්න බැහැ කියලයි කිව්වා. හැමතැනම තියෙන බෝධින්ගෙන් මෙම ශාන්තිය එන්නෙත් නැහැ. (එසේ නම් අනෙකුත් බුදුවරු බුදුවුන නා ගස්, අඹ ගස් වලිනුත් මෙම ශාන්තිය එන්න ඕනේ) හැබැයි පන්සලක තියෙන බෝධියක් කැලයකින් ගෙනත් පැලකරපුවා නෙමෙයි. ඒවාට ජය ශ්‍රී මහා බෝධි වහන්සේගෙ සම්බන්දතාවයක් තියෙනවා. පිලිතුර ප්‍රමානවත් කියලා සිතමි.

n.a.nayana said...

@Thamara
Thamara ගෙ අදහස නිවැරදි බව පිලිගනිමි.

@Anonymous
මෙයින් අදහස් කලේ කිසිම යහපත් ගුණයක පිහිටන්නේ නැතිව ලෞකික දේ ලබාදෙන්න කියලා බොධීන් වහන්සේ ලගට ගිහිල්ලා කන්ණලව් කරණ එක නෙමෙයි.

තමනුත් ගුණ ධර්ම වල පිහිටලා නිවන් දැකීම අරමුණු කරගෙන නිවන කරා යන ගමනේ දී ඇතිවෙන බාධාවල් ඉවත් කරගන්න පිලිසරණ, රැකවරණ ලැබේවා කියල පැතීමයි මෙයින් අදහස් කලේ.

Fiqri said...

බෝධින්වහන්සේගෙ කිරණ ශක්තිය කාටවත් නැහැ කියන්න බැහැ. පංච ඉන්ද්‍රිය ගෝචර නැති වුණාට දිවැසක් තියෙන කෙනකුට පෙනෙනවා.

දැන් නවීන තාක්‍ෂණයට අනුව කිරිලියානු ඡායාරූප ගත කරන ක්‍රමයට මේ කිරිණ ශක්තීන් ඡායාරූප ගත කරල තියෙනව. මේ වීඩියො එක බලන්න

http://www.youtube.com/watch?v=qDOi1BLoN3U